by Asha Relapanawa
Price : LKR 300.00
ISBN | 9789559433699 |
Author | Asha Relapanawa |
Publisher | Darshana Publishers |
Year | 2018 |
Edition | 1 |
Category | Sinhala Books |
"මගේ නම චන්ද්රිකා" ඇය තම නම කළු ලෑල්ල මත සටහන් කළාය. "ඔය දූලා පුතාලගෙ නම් දැනගන්න කැමතියි . තමන් වෙන්න කැමති මොනවගේ කෙනෙක් ද කියලත් කියන්න ඕනේ" තරිදුගෙන් පටන් ගැනුණි. ඉංජිනේරුවෝ හත් අට දෙනෙක්, ගුරුවරු, වෙද්යවරු වැඩි පිරිසක් ඒ අතර වූහ. ගුරුවරිය සුභා දෙසට හැරුණාය. "සුභාෂ්වරී සෙල්වනායගම්. මං කැමති නිළියක් වෙන්න. මේම මේම ඇස් කරකලා හිනාවෙන්න." පිටුපස පේළියේ කොල්ලන්ගෙන් සිනා හඩක් නැගුණි. එහෙත් ගුරුවරිය සිනා නොවූවාය. "එතකොට ඔය දුව" "මං ඡේකා .ඡේකා බණ්ඩාර. මං කැමති ශාස්තෲවරියක් වෙන්න." කොල්ලන්ගේ කෙල්ලන්ගේ කටවල් ඇරිණි. සිනාවෙන්නේ කුමටදැයි ඔවුන්ට තෝරා බේරා ගැනීමට නොහැකි වූවා සේය.ශාස්තෲවරියක් යනු කවුරුන්දැයි ඔවුන් දැන සිටියේ නැත. ගුරුවරිය මදක් වේලා ඇසිපිය නොගහා අරුම පුදුම දැරිය දෙස බලා සිටියාය. "හරි වාඩිවෙන්න දුව. දැන් අපි අපේ පළවෙනි ගණිත පාඩම පටන් ගමු" ඇය පාඩම ඇරඹුවාය. සුභාෂ්වරී ඡේකාගෙ කනට ළංවී "ශාස්තෲවරියක් කියන්නේ කවුදැයි" ඇසුවාය. පැහැදිලි ලෙස එය තේරුම් බේරුම් කරන්නට ඡේකා නොදැන සිටි අතර " ඔයාලගෙ දෙවි කෙනෙක් වගේ කෙනෙක් "යැයි ගත් කටටම කීවාය. "දුර්ගා අම්මා.එහෙම කියන්නෙපා.දෙයියො කෝප වෙයි" ඉන්පසු සුභා කිසිවක් විමසුවේ නැත. දෙවියන්ට අපහාස කළා යැයි ඇය උරණ වී ඇතුවා සේය.එදින ගුරුවරිය හදන්නට දුන් ගණන් දහය මුළින්ම හදා පෙන්වූයේ ඡේකාය. ඒ වෙනුවෙන් ඇයට රතු පෑනෙන් ලොකු හරියක් ලැබිණි. ඉතාම හොදයි ලෙසද සටහන් කෙරිණි. " ඇත්තටම මගෙ දුවට ඕනේ ශාස්තෲවරියක් වෙන්නද? " ගුරුවරිය ඡේකාගෙ ඇස්වලට එබුණාය. " නෑ මිස්. මට ඕනේ දාර්ශනිකයෙක් වෙන්න. ඒත් දාර්ශනිකයාගේ ස්ත්රී ලිංග පදය මං දන්නෙ නෑ. ඒකයි එහෙම කිව්වෙ"